Thursday, July 3, 2014

පෘතුගීසීන්ගෙන් ගැලවෙන්න අංගම් හටන් මායා රංගන කළ හැටි

11011_1.jpg




ඉපැරැණි ලාංකේය සටන් කලාවක් වන අංගම් සටන් කලාවට වර්තමානය වන විටද හිමිවී ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. රාවණා යුගයේ පටන් පැවැත එන මෙම අපූරු සටන් කලාව ගරිල්ලා ක්‍රමයටද නෑකම් කියන අතර දේශීය උරුමයන්ගෙන් පැවත එන ප්‍රමුඛතම සටන් ක්‍රමවේදයක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. සටන්කලාවන් අතරින් තමන්ටම උරුම කරගත් ආරකින් පැවත එන අංගම්පොර සටන් කලාව මඟින් අතුරු සටන් කලා රාශියක් බිහි වී තිබේ.

අංගම්පොර සටන් කලාව පිළිබඳ විවිධ සටන් ශිල්පීන් එක් එක් අදහස් පළකොට තිබෙන අතර ඒවාට හාත්පසින්ම වෙනස් අදහසක් අංගම්පොර සටන්කලාව පිළිබඳ හෙළි කරන අංගම්පොර සටන් ශිල්පියෙක් අපට අදහස් දැක්වූවේය. ඔහු නමින් සුසන්තය. සම්මානලාභී අංගම්පොර සටන් ශිල්පියකු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සුසන්ත මහතා අංගම්පොර සටන් කලාව පිළිබඳ පළ කරන්නේ මෙවන් අදහසකි.

"අංගම්පොර සටන් කලාව යනුවෙන් සමාජයේ ප්‍රචලිත වුණත් මෙම සටන් කලාවට අංගම්පොර සටන් කලාව යන විරුදාවලිය මම භාවිත කරන්නේ නෑ. මොකද මෙම සටන් කලාවට පසුකාලීනව මෙම නාමය භාවිත කළේ. අංගම් යනුවෙන් හඳුන්වන්නේ අංග භාවිතය. ශරීරයේ අංග භාවිත කොට සිදුකරන සටන් ක්‍රමවේදයක් බැවින් මෙයට එම නාමය භාවිත කළා වෙන්න පුළුවන්. එහෙත් ඉපැරැණි සාම්ප්‍රදායික සටන් කලාව අංග භාවිතයෙන් පමණක් නොවේ සටනට අවතීර්ණ වුණේ. මෙම සටන් කලාව මානසික හික්මීමද ඇතිව සිදු කළ සටන් කලාවක්. එබැවින් මෙම සටන් කලාව විවිධ විරුදාවලීන්වලින් හැඳින්වීමට වඩා සාම්ප්‍රදායික සිංහල සටන් කලාව ලෙස හැඳින්වීම යෝග්‍යය යැයි මම හිතනවා."

මෙම ඉපරැණි සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා සටන් ශිල්පි ගුරුවරයා වෙත පැමිණෙන ශිෂ්‍යයා බොහෝ සේ මානසික හික්මීමක් ඇති අයකු විය යුතුය. සුසන්ත මහතා පවසන පරිදි ගෝලයා මුලින්ම පුහුණුවට ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව දේව පූජාවක් පැවැත්විය යුතුය. දේව පූජාවෙන් අනතුරුව ගෝලයා ලද වාසනාව මත හෝ කැපවීමට ඇති හැකියාව මත ඔහුට අංගම්පොර සටන් කලාව මූලාරම්භයේ සිටම උගත හැකිය. එහෙත් අන් අයට පීඩා කරනු පිණිස පුහුණුව ලැබීමට පැමිණෙන්නන්ට එම පූජාවෙන් පසුව කුමන හේතුවක් මත හෝ සටන් ඉගැනීමේ වාසනාව අහිමි වන බව සුසන්ත මහතා පවසයි. පැරැණි සටන් කලාවෙහි ඇති තවත් එක් ප්‍රබල කරුණක් නම් අධික ගුරු භක්තියෙන් සටන් කලාව ප්‍රගුණ කරන තැනැත්තාට මෙම උත්තුංග සටන් කලාව මනාව ධාරණය කර ගැනීමේ හැකියාවක් ඇති වේ.

අත් සෙල්ලම්වලට අමතරව කඩු හරඹ, පොලු සටන්, වේලායුධ සටන්, හක්ගෙඩි සෙල්ලම, අතකොලු සෙල්ලම, හැරමිටි සෙල්ලම ආදී සටන් ක්‍රමවේදයන් මෙම කලාව ප්‍රගුණ කරන තැනැත්තාට ප්‍රගුණ කළ හැකිය. අවි ආයුධයෙන් සන්නද්ධව සේම නිරායුධව සිදු කරන සටන් ක්‍රමවේද 200කට අධික සිය ගෝලයන්ට පුහුණු කරන බව සුසන්ත මහතා කීය.

පිරිසක් මධ්‍යයෙහි සිටින තැනැත්තකු එම පිරිසටද නොදැනෙන ලෙස මරණයට පත් කිරීමට හෝ සිහි විසඥ කිරීමේ හැකියාවක් මෙම සටන් ක්‍රමවේදය තුළ පැවැතීමද සුවිශේෂීත්වයකි.

මෙම සටන් කලාව බහුලවම සිදුවන්නේ පුද්ගල සිරුරේ නිල හෙවත් ප්‍රධාන නහර ඉලක්ක කොටගනිමිනි. සතුරකු මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවලදී ඔහුට කිසිවක් කරගැනීමට පළමුව එම තැනැත්තාගේ බල නහරයක් වෙත පහරදී සිහිසුන් කිරීමේ හැකියාවක් මෙම සටන් කලාව සතුව පැවැතීම විශේෂත්වයකි.

මෙම සටන් කලාවේ භාවිත කරන සටන් ක්‍රමයන් හුදෙක් අත සහ පය පමණක් භාවිත කිරීම අපහසුය. එයට මානසික නිරවුල්තාව ඉහළින්ම පැවැතිය යුතුය. අතීත සාම්ප්‍රදායික සටන් ගුරුවරුන් අතරින් සුප්‍රසිද්ධ නාමයක් දිනාගෙන සිටි සරඹ වෙද මහතා යන විරුදාවලියෙන් හැඳින්වූ අරනෝරිස් වෙත්තසිංහ සහ බෙම්පි ප්‍රනාන්දු යන සටන් ප්‍රභූවරුද මෙම සටන් කලාව බොහෝ සේ ප්‍රගුණ කළ පිරිස අතර වැජඹෙති. සටන් කලාව පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන් තුනුරුවන් ගුණ සිහිකොට නවග්‍රහ මණ්ඩලය සඳහා පූජාවක් සිදුකොට සතරවරම් දෙවිවරුන් නමින් 'පාරවල් හතර' නමැති සටන් ක්‍රමයක් පූජා කිරීමෙන් අනතුරු භාවනායෝගීව හිඳ මෙම සටන් කලාව පුහුණු කිරීමට පෙලඹී ඇති බව සුසන්ත මහතා පවසයි. යථෝක්ත සටන් ශිල්පීන්ගේ මුනුබුරකු වන සුසන්ත මහතාද සිය සාම්ප්‍රදායික සටන් කලාව ඇරැඹීමට ප්‍රථම ආධ්‍යාත්මික නිරවුල් බව සකස් කොට ඉන් අනතුරුව සටන් ප්‍රගුණ කිරීමට පුරුදු වී සිටියි.

ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන්ට සාම්ප්‍රදායික ගමෙන් උපන් සටන් ශිල්පීන් ඉමහත් අභියෝගයක් වූ බව පැරැණි සටන් සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. පෘතුගීසීන්ගේ ගිනි බටය සටන් ශිල්පීන්ගේ නිල සටන හමුවේ පරාජයට පත් වෙමින් පැවැති නිසා සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ට දුටු තැන වෙඩිතබා මරා දැමීමට පෘතුගීසීන් තීරණය කොට තිබේ. සටන් ශිල්පීන්ගේ නැඟී සිටීම පෘතුගීසීන් තුළ ඇති කළේ භීතියකි. එබැවින් ලංකාව ඇතුළත කිසිදු ස්ථානයක සටන් කලාව ප්‍රගුණ නොකළ යුතු බවටද පෘතුගීසීන් විසින් වාරණයක් පනවනු ලැබීය. එසේ සටන් ක්‍රමවල නිරත වන්නන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට ඔවුහු කටයුතු කළහ. සිංහල නිවෙසක කඩුවක් පවා තබා ගැනීමට තහනම් කිරීමෙන්ම පෘතුගීසීන් සාම්ප්‍රදායික සටන් කලාව කෙරෙහි කොතරම් භීතියක් දක්වා ඇතිද යන්න පසක් වේ.

කෙසේ වෙතත් මෙම සටන් කලාව විනාශවීමට ඉඩ නොතැබූ අතීත සටන් ශිල්පීහු පෘතුගීසීන්ගේ අවධානය යොමු නොවන පරිදි පැරැණි සටන් කලාවට හාස්‍යයද මුසු කරමින් මායා නමැති සටන් කලාවක් හඳුන්වා දුන්හ. සත්තකින්ම ඔවුන් එහිදී සිදු කළේ පැරැණි සටන් ශිල්පයම හාස්‍යයද මුසු කරමින් පෘතුගීසීන්ට සැක පහළ නොවන පරිදි ප්‍රගුණ කිරීමට කටයුතු කිරීමයි. විවිධ ආයිත්තම් විකට ඇඳුමෙන් සැරැසී මායා රංගනයක් ලෙස හුවා දක්වමින් ඔවුන් පැරැණි සටන් කලාව ප්‍රගුණ කොට ඇති බවට අතීත සටන් සාහිත්‍යය සාක්කි දරයි.

එවන් අපරිමිත කැපවීමක් දරා අතීත ප¾ඩිවරුන් විසින් පවත්වාගෙන එන ලද පෞරාණික සටන් කලාව විවිධ පුද්ගලයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් අභාවයට යමින් පවතින බව සුසන්ත මහතා පවසයි. පැරැණි මුතුන්මිත්තන් මායා සටන් කලාව හඳුන්වා දුන්නේ සත්‍යය ඉපැරැණි සටන් කලාව අනාගත පරපුරට හඳුන්වා දීමට වුවද අනාගත බහුතරයක් පිරිස සටන් කලාව හුදෙක් රඟපෑමක් බවට පත් කරමින් ඉපැරැණි සටන් ශිල්පය පවා විකෘති කිරීමට පෙලඹී සිටින බවද සුසන්ත මහතා පවසන්නේ දැඩි කනගාටුවෙනි.

පෘතුගීසි සමයෙහි පවා විවිධ අභියෝගයන්වලට මුහුණ දෙමින් ජීවිත අවදානමද නොතකා සිය සටන් කලාව අනාගත පරපුරට දායාද කිරීමට අතීත සටන් වියතුන් කටයුතු කළා සේම වත්මන් පරපුරද එම අභියෝගය සුරතට ගනිමින් කටයුතු කරයි නම් ඉපැරැණි සටන් කලාවේ උන්නතිය වෙනුවෙන් තවත් පරපුරක් බිහි කිරීමට හැකි වෙනු නොඅනුමානය



( උපුටා ගැනීම-http://mawbima.lk/55-11011-news-detail.html)

No comments:

Post a Comment

Comments system

Disqus Shortname