Friday, September 30, 2016

පාරම්පරික දැණුම ..( අම්පිටියේ දෙවියෝ සහ අංකෙළිය)

පානම් පත්තුවේ පානම ගම්මානයේ පිහිටි අම්පිටියේ දේවාලය එහි ගැමියන්ගේ නිරතුරු ඇදහීමට භාජනය වන දෙවොලකි. මෙහි උඩු පිල හා යටි පිල යනුවෙන් දේවාල දෙකකි. මෙහි අළුත් දෙවියෝ හා පත්තිනි දෙවියෝ පිළිවෙලින් වැඩ වෙසෙයි. මෙම දෙවි වරුන් දෙපල අම්පිටියේ දෙවියෝ වෙති. ගැමියෝ දෙපිලකට බෙදී වසරක් පාසා අලුත් හා පත්තිනි දෙවියන් උදෙසා අංකෙළි උත්සවය පවතවති. යල් කන්නයේ අස්වනු නෙළා ගැනීමෙන් පසු ඇරබෙන මෙම අංකෙළි උත්සවය සැණකෙළියක  සිරි උසුලයි.

ගැමියන් අංකෙළිය පවත්වන්නේ ආත්‍රී කාලයේ අම්පිටියේ දී ය. මේ සදහා සහභාගි වන්නේ පිරිමින් පමණි. තරැණයන් සදහා වෙන්ව පවතින පළමු දින හත ''කොළු අංකෙළිය'' යනුවෙන් ද ඊට එළඹෙන දින පහ වැඩිහිටි පිරිමින් සදහා වෙන්ව පවතින අතර එය ''මහා අංකෙළිය'' යනුවෙන් ද හැදින්වේ. දහතුන්වන දිනය ''දේවාලයට යන දා ''ලෙසද දාහතර වන දිනය ''දෙයියෝ ගමේ ගේන දා''  සහ   පහලොස් වන දිනය  ''දියකපන දා'' යනුවෙන් ද අංකෙළ උත්සවය පැවැත්වෙන දින පහළොව හැදින් වේ. කොලු අංකෙළිය හා මහ අංකෙළිය පවතින දිනවල ගැහැණුන් කිසිවෙකු අම්පිටියේ හතර මායිම තුළින් ඇතුළු නො විය යුතු ය. එම කාලය තුළ ගැහැණුන් අම්පිටියට පැමිණිය හොත් දෙවියෝ උදහස් වෙති.



අංකෙළියට සහභාගි වන පිරිමින් පිළිපැදිය යුතු ලිළිවෙත් රැසකි. ඔවන් අංකෙළියේ යෙදෙන කාලය තුළ අනිවාර්යෙන් ළිළිපැදිය යුතු ය. එසේ නොකොළහොත් අම්පිටියේ දෙවියෝ උදහස් වෙති. දෙවියන් අදහස් වූ කල ගැමියන්ට ලෙඩ රෝග සහ නොයෙකුත් උපද්‍රව වලට මුහුණපෑමට සිදු වේ. එම වත් පිළිවෙත් මෙසේය.

*හිස තෙල් නොගෑම.
*කහ, බටු අඹ ආදිය නොකෑම.
*මැටි භාජන පරිහරණයේ දී නැවුම් මැටි භාජන පරිහරණය කිරීම.
*බිරිද අතින් සෟවාමි පුරුෂයාට බත් බෙදා නොදීම.
*සහවාසයේ නො යෙදීම.
*මස්, මාළු, කරවල, බිත්තර, ආදී මාංශ වර්ග ආහාරයට නො ගැනීම.


එමෙන්ම අංකෙළිය පැවැත්වෙන කැලයේ දී ගැමියන් පිළිපැදිය යුතු වත් පිළිවෙත් ද වේ.

*හාල් පිටි කෙටීම නොකළ යුතු ය.
*මරණයක් සිදු වූ විගස දේහට ගම්මානයෙන් පිට කිරීම හෝ භූමිදානය කිරීම.
*දැරියක් වැඩිවියට පැමිණියේ  (කොටහළු වූයේ) නම් ඇය ගමෙන් පිටත ස්ථානයක රැදවීම.
* මාසික ඔසප්වීම සිදු වූ ගැහැණුන් ගමෙන් පිටමං කර තැබිම
*දරු උපතක් සිදු වූයේ නම් මවත් දරුවාත් ගමෙන් පිටමං කර තැබීම.
*විවාහ කටයුතු නොකිරීම.
*මස්, මාළු ආදී මංශ ගම තුළට නොගැණිම.

අංකෙළියේ දී උඩු පිළ ජය ගතහොත් එම වසරේ ගැමිනේගේ වගා කටයුතු සාර්ථක වී වැඩි අස්වනු ලැබෙන අතර බහුලව ලෙඩරෝග ගැමියන් අතර පැතිර යයි.  එහෙත් අංකෙළියේ දී යටි පිළ ජයගත හොත් ගැමිනයන් අතර ලෙඩ රෝග පැතිරයාම නොවන අතර වගාපාළු වී අස්වනු අඩු වී ගැමියන් ආර්ථික අහේනියකට මුහුණ පාති. මෙය පානම් පත්තු ගැමියන් දැඩිසේ විශ්වාස කරන්නකි. 

'' දේවාලයට යන දා'' ගැහැණු පිරිම කිසිම බේදයකින් තොරව සියල්ලෝම එදින අංපිටියේ දේවාලයට යති. අම්පිටියේ දෙවියන් උදෙසා භාර හාර එදින ඔප්පු කරයි. දේවාලයට යන දා කවුරුත් පාහේ අළුත් ඇදුම් වලින් සැරසෙති. පසුදින '' දෙයියෝ ගමේ ගේන දා'' වන අතර එදින රෑ ගම්මානයේ නිවෙස් කරා පත්තිනි දෙවියෝ වැඩම කරති. එදින වන විට ගැමියන් තම නිවෙස් අළුත්වැඩියා කර ගෙවතු හා මං මාවත් පිරිසිදු කර තබා ගනී. නිවෙස ඉදිරිපිට මිදුලේ දෙවියන් වෙනුවෙන් මැස්සක් තනයි. මෙහි උඩු වියන් බැද පූජා වට්ටියක් හා පොල් ගෙඩියක් තබති.  මැස්ස අඹ කොළ, කොහොඹ කොළ, ගොක් කොළ හා මැයි මල් වලින් සරසයි. පත්තිනි දෙවියන් පෙරහරේ වඩම්මන අතර කඩුල්ලේ සිට පැස්ස දක්වා පෙරහැර ගමන් කරන විට ගමන් මග වතුර කළයක් වක්කර තෙත් කරයි. පත්තිනි දෙවියන් ලී මැස්සේ තබා කපුවා යාතිකා ගයමින් නිවැසියන්ට සෙත් පතයි. මෙලෙස ගම්මානයේ සියළුම නිවෙස් කරා දෙවියන් වැඩමකර ගැමියන් හට සෙත් පැතීම කරනු ලබයි. පසු සින එළඹෙන සුභ මොහොතින් පානම මුහුදු තීරයේ දී දියකපා අංකෙළි උත්සය අවසන් කෙරෙති. 

මෙරට වත්මනේ දී ද පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රානුකූලව වසරක්අං පාසා කෙළිය දැක ගැනීමට ඇති එකම ස්ථානය පානම් පත්තුවයි. මෙය අතීත මුතුන් මිත්තන් පරිහරණය කළ විශ්වාස කළ අපේ පාරම්පරික විශ්වසයන් හා දැණුම පද්ධතියයි.  

                                         අළුත්  දෙවියන්ට කොරන දේව කන්නලව්ව මෙසේය.

                   නමෝ තෙදවරං දිවස් පස්වාන් දහසකට දිවස් කරුණා කරන්න යහපති 
                              ආයි බෝ වේවා.. ආයි බෝ වේවා... ආයි බෝ වේවා ......
ඕ...ම්... සිට වැන්දෙත් බැහැ වැන්දේත්
දනිස් නමා දසගිල්ලෙන් වැන්දේත්
දොහොත් නමා දසගිල්ලෙන් වැන්දේත්
මෙසක්වලෙන් එසක්වලට එසක්වලෙන් මෙසක්වලට
මෙර හතර මූදේ
මේ.. ශ‍්‍රීලඞකා දීපයට නිධානයක් වූ පැවැත්වාවූ
අලූත් බණ්ඩාර කෝවිලේ බණ්ඩාර
සමකුලූනු බැහැ උන්නාවූ අලූත් බණ්ඩාර
කතරගම මහ මූලස්ථානෙට වැඩ උලූවිත් කෝවිල තනා
පට පඩුරු අය කරගත් අලූත් බණ්ඩාර දෙවි හාමුදුරුවන් වහන්සේට කියා සිටින කන්නලව්වයි
මේ අසුරමණ්ඩියේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා
යක්‍ෂ භය භූත භය පේ‍්‍රත භය ගසා නඩත්තු කරවා දී
ඉසේ තියාවුන් මල්ලක් බිමට බෑවා සේ
කාදුන්නක දුනු දියක් බෑවා සේ
අහසේ වලාවක් ගසා ගියා සේ
පොළොවේ දූවිලි කඩක් ගසා ගියා සේ
කිරි ගහට ඇතෙක් දළ දුන්නා සේ
මුහුද පීනා ගොඩ දුරට ආ සේ
හාල් ගරා ගල් දුටුවා සේ
සිද්ධ ස්වාමිනී
කනාගේ හැරමිටිය හැංගුවාසේ කරන්න එපා
පීරා කන කුකුළාගේ දෙපා බින්දා සේ කරන්න එපා
හිගන්නාගේ පාත්තරේ බින්දා සේ කරන්න එපා
සිද්ධ ස්වාමිනී
අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා ගසා ගියා සේ
හත්දා බලි ඇරියා සේ
මේ සියලූ රෝග මේ සියලූ උපද‍්‍රව දුරු කර දෙන්න
අලූත් බණ්ඩාර දෙයි හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්......



මෙහි මා ගෙන එන්නේ මානව වංශ අධ්‍යයන තුළින් මා දැක ඇති අසා ඇති තොරතුරු සහ පොත් පරිශිලනයෙන් මා පසක්කර ගත් දැණුමැයි..
ආශිත.ග්‍ර - ගුණමෝම ගුණසේකර, පානම් පත්තුවේ ජනඇදහිලි හා විශ්වාස,2001,ගොඩගේ ප්‍රකාශකයෝ.




සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ
------ ---------------------------------

Monday, February 8, 2016

පාහියන් ගල..





සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ
------ ---------------------------------

Comments system

Disqus Shortname