Thursday, July 3, 2014

ඩෙල්ෆ් දූපතෙන් හමුවූ සෙල්ලිපියෙන් ආදි සිංහලයන් උතුරේ සිටි බව හෙළිවෙනවා

උතුරුකරයේ ඩෙල්ෆ් දූපතෙහි පිහිටි පැරැණිම ඓතිහාසික සලපතළ මළුවෙහි තිබී ගෙවී ගිය දෙදහස් දහය වසරේ ප්‍රථම වරට හඳුනාගත් සෙල්ලිපියක අන්තර්ගතය හෙළි කළ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා ක්‍රිස්තු පූර්ව යුගයේදී පවා ආදි සිංහලයන් උතුරුකරයේ සිටි බවට මේ හුනු ගල් සෙල්ලිපියෙන් අනාවරණය වන්නේ යැයි පවසයි.

දෙදහස් දහය වසරේ යුද්ධයෙන් පසු උතුරේ සංචාරයක යෙදුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ හා කොටස් වෙළෙඳපොළ
කළමනාකාරවරයකු වන තුසිත මීගස්කුඹුර යන පිරිස ප්‍රථමවරට මේ විහාරයේ සලපතළ මළුවට අල්ලා තිබූ හුනුගල්වල ලියන ලද සෙල්ලිපි තුන හඳුනා ගනු ලැබ ඇත. පසුගියදා මුහුදු පුරාවිද්‍යා ඒකකය උතුරේ කළ ගවේෂණයක්ද නැවත මේ සෙල්ලිපි දැකබලා එය පින්තූරයට ගෙන ආචාර්ය අඹන්වල මහතාට ඉදිරිපත් කිරීමෙන් පසු එකී සෙල්ලිපිවල අන්තර්ගතය ඔහු විසින් දැඩි වෙහෙසක් ගෙන පරිවර්තනය කර ඇත

මේ සම්බන්ධයෙන් 'මව්බිම' විමසුමකට පිළිතුරු දුන් අඹන්වල මහතා පින්තූරවලින් පෙනෙන පරිදි සෙල්ලිපි ලෙස පිළිගත හැකි ලිපි තුනක් පෙනෙන්නට ඇතැයි කීය.

මෙයින් එකක් දමිළ භාෂාවෙන් කොටා ඇති අතර එහි එන අකුරු දෙස බලන කල එය දහහතර, පහළොව (14-15) සියවස්වලට අයත් එකක් බවත් තව එකක අන්තිම අකුරු දෙක (අ.ල) වශයෙන් හැඳින්විය හැකි බවත් කීය.
අනෙක් සෙල්ලිපිය ඉතා වැදගත් ඓතිහාසික එකක් බවත් එහි ඇති අකුරු දෙකක් හඳුනාගත් බවත් පවසන අඹන්වල මහතා එය (ය-හ) වශයෙන් හඳුනාගත හැකි බවද කියයි.

මේ අකුරු පැරැණිම බ්‍රාහ්මී අක්ෂර බවත් බොහෝවිට එය ක්‍රි.පූර්ව හෝ පළමු වැනි සියවසෙහි ලියූවක් බවත් කීය.
පැරැණි අභිලේඛන සලකා බලන කල මෙවැනිම ලිපියක් (අකුරු) ඇති සෙල්ලිපියක් මල්ලිආර හා කදුරුගොඩදී හමුවී ඇති බවත් එය වසභ රජු සමයේ බවත් කියයි.

පරණවිතානයන් පවා අර්ථ දක්වා ඇති පරිදි මේ අකුරු දෙකෙන් සංඥාභාවයක් (ය) හා අයිතියක් (ගේ) යන්න අර්ථ දක්වන (හ) අකුර බවත් පෙන්නා දෙයි.
මෙහි බොහෝ කොටස් මැකී හෝ විනාශ වී ගොස් ඇති බව පවසන ඒ මහතා එහෙත් ඉතා හොඳින් හඳුනාගත හැකි කුඩා සෙල්ලිපිය අනුව එය ක්‍රි. වර්ෂ පළමු සියවසට අයත් පැරැණිම බ්‍රාහ්මී අක්ෂරවලින් කොටා ඇති බවත් ඉතා පැහැදිලි යැයිද කීය.

අපේ රටේ වෙනත් තැන්වලින් දැනට සොයාගෙන ඇති සෙල්ලිපි හා සසඳන විට මේ සෙල්ලිපි තුනෙන් දෙකක් 14-15 සියවස්වලට අයත් (දමිළ) බවත් කුඩා සෙල්ලිපිය
පළමු සියවසට අයත් ඉතා පැරැණි සිංහල අක්ෂරවලින් එය කොටා ඇති බවත් කීය.
තමන් ළඟදීම මේ ලිපි තුන නැරැඹීමට යන බව අවධාරණය කළ අඹන්වල මහතා එයට පසුව මෙයට වඩා කරුණු අනාවරණය කිරීමට හැකි වෙතැයිද කීය.



(උපුටා ගැනීම- http://www.mawbima.lk)

No comments:

Post a Comment