Thursday, July 3, 2014

බුදු රදුන් ලංකාවට වැඩම කළ බවට ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි

ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධයෝද සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය විවිධ ආමිස ප්‍රතිපත්ති පූජා ඔස්සේ සැමරීමට කටයුතු කළහ. සිද්ධාර්ථ ගෞතමයෝ වසර හයක් දුෂ්කර ක්‍රියාකොට ඉන් පසුව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ නුවණ මෙහෙයවා වයස අවුරුදු 35දී උතුම් වූ සම්බුද්ධත්වයට පත් වූහ. පාලි ත්‍රිපිටක සාහිත්‍යයට අනුව එතැන් පටන් වසර හතළිස් පහක් පුරා දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ගම්, නියම්ගම්, නගර කරා වඩිමින් රජ, මැති, ඇමැති, සිටු පොහොසත්, දුප්පත් භේද නොතකා සැමට පොදුවේ සත්‍යය දේශනා කළහ. සමස්ත ලෝකයම වඩාත් ප්‍රායෝගිකව ග්‍රහණය කර ගනුයේ මේ අසම - සම බුද්ධ රත්නයටම පමණක් ආවේණික වූ අපරිමිත කරුණාව, දයාව හා මෛත්‍රියයි. මෙසේ ධර්ම දේශනා කළ වර්ෂ 45ත්, බුද්ධ පරිනිර්වාණය සිදුවී ගත වූ වර්ෂ 2555ත් එක්කොට 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට බෞද්ධයෝ කටයුතු කළහ.

ශ්‍රී ලංකාව බහුතර බෞද්ධ ජනතාවක් වාසය කරන රටක් වශයෙන් මෙන්ම බුදු දහම අනිවාර්යයෙන් රාජ්‍ය ආගම බවට පත්කර ගෙන සිටින රටක් වශයෙන්ද මෙරට පාලකයා නිතැතින්ම පාරිශුද්ධ බෞද්ධයකු විය යුතු යැයි දැඩිව සලකන දිවයිනක් වශයෙන්ද සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබිණි. එසේම මෙරට පුරාණ වංසකතා පවසන පරිදි බුදුන් ශ්‍රී ලංකාද්වීපයට තෙවරක්ම වැඩම කර තිබේ. උගතුන් අතර ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර පැවතුණද මුළුමහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව බුදුන් ශ්‍රී ලංකාවට වැඩි බව ප්‍රකාශ කෙරෙන වංසකතාගත තොරතුරු තරයේම විශ්වාස කරති, අදහති. මෙබඳු අවස්ථාවක "බුදුන්ගේ ලංකා ගමනයන්" පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රයන්වල එන තොරතුරු මඳක් කෙටියෙන් වුවද සිහිපත්කර විමර්ශනයට බඳුන් කිරීම කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. ඉහත හඳුන්වා දෙන ලද ආකාරයට "බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන" පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපට භාවිතයට ගත හැකිව පවතිනුයේ ශිලාලිපි, වාස්තුවිද්‍යා අවශේෂ යනාදී පුරාවිද්‍යා මූලාශ්‍රවලට වඩා පාලි සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසෙන් මෙපිටට අයත් එම කෘති අතරට මහාවංසය, දීපවංසය, සමන්තපාසාදිකාව නම් වූ විනය පිටකයේ අටුවා ග්‍රන්ථය, පූජාවලිය හා සද්ධර්මාලංකාරය යනාදිය ඇතුළත් වේ. මේවායේ "බුදුන්ගේ ලංකාගමන" පිළිබඳව වඩාත් වර්ණනාත්මක, සවිස්තරාත්මක වාර්තාකරණයක් දක්නට ලැබේ. බුදු හිමියන්ගේ ලංකාගමන පිළිබඳව සඳහන් එම සාහිත්‍ය මූලාශ්‍රයාගත තොරතුරුවලට පමණක් සීමාවී සාම්ප්‍රදායික තීරයක් ඔස්සේ උක්ත මාතෘකාව සාකච්ඡා කරනවාට වඩා විචාරශීලී මාවතක් ඔස්සේ එය විමර්ශනය කිරීම යෝග්‍යය.

සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව බුදුරජාණන් වහන්සේ අප රටට තුන් වරක්ම වැඩම කර තිබේ. ක්‍රිස්තුපූර්ව 6-5 ශතවර්ෂවල මෙරට විසූ යක්‍ෂ හා නාග යන ගෝත්‍රික පිරිස් එම පැමිණීම්වලට හේතු වී තිබේ. මෙබඳු සාකච්ඡාවකදී උන්වහන්සේ මෙරටට පැමිණි අවධිය වන විට මෙහි ක්‍රියාත්මක ඓතිහාසික සමාජ ආර්ථික තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය. මේ සඳහා මෙහිදී පුරාවිද්‍යාත්මක කැණීම් හා න්‍යාය, ක්‍රමවේද භාවිත කරනු ලැබෙයි.

ශ්‍රී ලංකාවේ මානව සංස්කෘතික ඉතිහාසය දළ වශයෙන් ප්‍රාගෛතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසික යුගය වශයෙන් බෙදිය හැකිය. මෙයින් ප්‍රාගෛතිහාසික සමය වසර 1,25,000න් ඇරැඹී ක්‍රිස්තුපූර්ව 1000දී පමණ අවසන් වෙයි. ක්‍රිස්තු පූර්ව 1000 සිට ක්‍රිස්තු පූර්ව 300 දක්වා දළ වශයෙන් හඳුන්වනුයේ ප්‍රොටෝ ඓතිහාසික යුගය වශයෙනි. ක්‍රි.පූ. 300 සිට ඇරැඹෙනුයේ ඓතිහාසික යුගයයි. මේ අතරෙන් බුදුහිමියන් මෙරටට වැඩියා යැයි විශ්වාස කෙරෙනුයේ ක්‍රි.පූ. 1000 - ක්‍රි.පූ. 300 දක්වා වර්ධනය වූ ප්‍රොටෝ ඓතිහාසික සංස්කෘතික සමය තුළදීය. එනම් ක්‍රි.පූ. 6 - 5 ශතවර්ෂවලදීය. බුදුන් වැඩම කළ මෙම අවධිය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රාථමික යකඩ යුගය, මුල් අයිස් සමය යනාදී නම්වලින්ද හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයකු ලෙස විශ්ව සම්භාවනාවට පාත්‍රව සිටින ආචාර්ය ශිරාන් දැරණියගලයන් විසින් අනුරාධපුර ඇතුළුපුර කරන ලද විද්‍යාත්මක පුරාවිද්‍යා ස්ථරීභූත කැණීම් මාලාව පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත් වේ. එම කැණීම් අතර ගෙඩිගේ 1969 (ඒ.ජී. 69) අනුරාධපුර ඩිංගිරිබංඩාගේ වත්ත (ඒ.ඩී.බී. 87) අනුරාධපුර සල්ගහ වත්ත 1987/1988 (ඒ.එස්.ඩබ්ලිව්. 87/88) අනුරාධපුර මහාපාලි දාන ශාලාව 1989 (ඒ.එම්.පී. 89) යන කැණීම් මාලාව බුදුන් වඩින කාල පරිච්ඡේදය වන විට මෙරට පැවැති සමාජ, ආර්ථික ප්‍රවණතා හා සංස්කෘතික ලක්‍ෂණ පිළිබඳව වඩාත් විද්‍යාත්මක මෙන්ම විශ්වසනීය තොරතුරු රාශියක් ඉදිරිපත් කර ඇත. මෙම කැණීම් නව පුරාවිද්‍යාවේ පුනරුදයත් සමඟ සිදු වූ ඒවා මිස සාම්ප්‍රදායික ඉතිහාසකරුවන්ගේ ක්‍රියාදාමයක් නොවන නිසා ඒවායෙන් අනාවරණය වන තොරතුරුද සත්‍ය ඒවා ලෙස පිළිගත හැකිය. ක්‍රිස්තු පූර්ව 1000 - ක්‍රි.පු. 300ත් අතර කාලයේ විසූ මිනිසා ප්‍රාථමික සමාජ තත්ත්වයන්ගෙන් මිදී විධිමත් සංස්කෘතික ප්‍රවාහයකට ප්‍රවේශ වනු ලබන අයුරු පුරාවිද්‍යා පර්යේෂණකයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩිනුයේ ක්‍රිස්තුපූර්ව පස්වැනි, හයවැනි ශතවර්ෂවලදීය. එනම් ඉහත කී ප්‍රොටෝ ඉතිහාස කාලපරිච්ඡේදයේදීය. එපමණක් රාම - රාවණා පුවතත්, විජයාගමන නම් වූ උත්තර භාරතීය ජන සංක්‍රමණයත් සිදු වනුයේද මෙම කාලයේදීමය. විජය නමැති උතුරු ඉන්දීය සංක්‍රමණිකයා මෙරටට පැමිණෙන විට මෙහි විසූ ජනයා අතර පැවැති සංස්කෘතික ලක්‍ෂණ ඉතා සිත්ගන්නාසුලු ඒවා විය. එම සංස්කෘතික ලක්‍ෂණ අතර යකඩ ලෝහය ඇතුළු අනෙකුත් ලෝහ භාවිතය, ප්‍රාථමික ජල කළමනාකරණය, සරල කෘෂිකාර්මික කටයුතු, කාලරක්ත, රක්ත හා කාල වර්ණ මැටි බඳුන් නිෂ්පාදනය හා බැඳුණු පිඟන් මැටි කර්මාන්තය, ශාක හා සත්ත්ව ගෘහාශ්‍රිතකරණය, පිලිස්සීමෙන් පසුව මැටි බඳුන්වල කුරුටු ලක්‍ෂණ යෙදීම, පබළු නිෂ්පාදනය සහ මියගියවුන් උදෙසා විශේෂ සුසාන (මෙගලිත්) ඉදිකිරීම යනාදිය ඉතා වැදගත් ලක්‍ෂණ ලෙස හඳුනා ගනු ලැබේ. මේවාටත් වඩා සැලකිය යුතු කරුණක් වනුයේ සුසාන ගල් පියන් මත කොටා ඇති සංකේතවල භාවිතාවයි. ආචාර්ය දැරණියගල අනුරාධපුර ඇතුල් නුවර කළ පුරාවිද්‍යා කැණීම් මඟින් ක්‍රිස්තු පූර්ව 300න් අතීතයට ගමන් කරන අක්‍ෂර සහිත මැටි බඳුන් කැබැලිද සොයා ගත්තේය. එමගින් පෙනී යනුයේ බුදුන් වඩින විට මෙරට විසූ ජනයා කියවා තේරුම් ගත හැකි භාෂාවක් භාවිත කළ බවයි. මෙරට නිශ්චිත දේශපාලනික, ආගමික, සමාජ හා ආර්ථික යන ආයතනවල සැකැස්ම බුදුන් වැඩි කාලය හා සබැඳෙන බව මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ පර්යේෂණවලින්ද පෙනී යයි. ඉහත සඳහන් කළ සංස්කෘතික ලක්‍ෂණවලින් සමන්විත ජන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ උතුර, උතුරුමැද, පහළ කඳුකර කලාපය, වයඹ, බටහිර හා ගිනිකොන දිග ප්‍රදේශවල ව්‍යාප්තව සිටි බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න තවදුරටත් පෙන්වා දී ඇත. එසේ එම ජන කොටස් ඒ ඒ පළාත්වල ව්‍යාප්තව විසුවේ විජය මෙන්ම බුදු හිමිද මෙරටට පැමිණියා යැයි සැලැකෙන කාලය තුළදී වීම සුවිශේෂී කොට සැලැකිය යුතුය.

මහාවංසය මෙන්ම අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍රයන් පෙන්වා දෙනුයේ උක්ත විද්‍යාත්මක තොරතුරුවල හාත්පසින් වෙනස් වූ සාවද්‍ය තොරතුරු සමුදායකි. ඒ මෙරට මහ ජනතාවගේ ඇවැතුම් පැවැතුම් ගැනය. එම වංසකතා පවසන පරිදි බුදුන් වහන්සේ මෙරටට වඩින විට මෙම දිවයිනෙහි වාසය කොට ඇත්තේ චණ්ඩ, රෞද්‍ර, දුර්දාන්ත, අශිෂ්ට ජන පිරිස්ය. නමුත් එය කිසිසේත් පිළිගත හැකි පුවතක් නොවේ. බුදුන් විසින් දමනය කරනු ලැබුවේත් විජය විසින් මරා දමනු ලැබුවේත් මෙරට එකල විසූ ශිෂ්ට ලක්ෂණවලින් සමන්විත පිරිසක් බව නූතන විද්‍යාත්මක පුරාවිද්‍යා කැණීම්වලින් ලද දත්ත මගින් පැහැදිලි වන්නකි. වංසකතාකරු මෙරට ජනයා ඉතා භයංකර පිරිසක් ලෙස හඳුන්වා දී එබඳු කර්කශ පැවැතුම් ඇති පිරිසක් පවා දමනය කරන්නට බුදුන් සමත්වීම වර්ණනා කොට උන්වහන්සේ කෙරේ ගෞරවය වඩාත් වර්ධනය කිරීම අපේක්‍ෂා කළා විය හැකිය. එසේ නැතහොත් විජය නමැති ඉන්දියාවෙන් පිටුවහල් කළ පුද්ගලයා උසස් කොට දේශීය ජනයා පහත් කිරීම අපේක්‍ෂා කළා විය හැකිය. මෙම වංසකතා රචනා කරන ලද්දේ නික්ලේෂී මහරහත් උතුමන් විසින් නොව කෙලෙස් සහිත පෘථග්ජන භික්‍ෂුන් විසින් බව මෙහිදී සැලකිලිමත් විය යුතුය. ඒවායේ ඇතැම් තොරතුරු සතර අගතියෙන් තොර නොවනුයේ එම නිසාය. මේ අනුව බුදුන් මෙරටට වඩින විට වංසකතාකරු පවසනවාට වඩා විශිෂ්ට සිරිත් විරිත්වලින් යුත් ජන පිරිස් මෙහි විසූ බව පිළිගැනීමට සිදුවනුයේ මානව වංස පුරාවිද්‍යාව, සමාජ පුරාවිද්‍යාව, පුරා උද්භිද විද්‍යාව, පුරා සත්ත්ව විද්‍යාව වැනි නව පුරාවිද්‍යා ප්‍රවේශ ඔස්සේ කරුණු රැසක් විධිමත්ව වාර්තා වී ඇති නිසාය.

ඉහත සාකච්ඡා කරන ලද්දේ බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කළ කාල පරිච්ඡේදය වන විට මෙරට පැවැති සමාජ - සංස්කෘතික පසුබිම පිළිබඳවය. බුදුරදුන්ගේ ලංකා ගමන පිළිබඳව කෙරෙන මෙබඳු සාකච්ඡාවකදී සමකාලීන සමාජ තත්ත්ව පිළිබඳව සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. මුලින් සඳහන් කළ පරිදි මීළඟට පාලි පොත්පත්වල එන බුදුන් වැඩි ස්ථාන පිළිබඳව අපගේ අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පළමුවරට ලක්දිවට වැඩම කරවා ඇත්තේ දුරුතු මස පුර පසළොස්වක් පොහොය දිනකදී බව මහාවංසය පවසයි. නමුත් දීපවංසයෙහි දුරුතු මසකදී වැඩම වූ බව සඳහන් නොවන අතර උක්ත යක්‍ෂ ගෝත්‍රික දමනයට ලංකාවට වැඩි බව නම් කියැවේ. බුද්ධඝෝෂ අටුවාචාරීන් විනය පිටකයට ලියන ලද අට්ඨ කතාව වන සමන්ත පාසාදිකාවේ බුදුන් පළමු වරට යක්‍ෂයන් දමනය කිරීමටත් දෙවැනි වර චූලෝදර මහෝදර නාග දමනයටත් තුන්වැනි වර මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් භික්‍ෂූන් සමඟ වැඩමවා රුවන්වැලි සෑය, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, මුතියංගණ සෑය, දීඝවාපි චෛත්‍යය පිහිටි ස්ථානවල නිරෝධ සමාප්තියට සමවැද වැඩහුන් බව සඳහන් වේ. සමන්ගිර මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමෙන් අනතුරුව එම පර්වත පාදයේ දිවා විහරණයකොට ඉන් අනතුරුව දීඝවාපි වැඩි බවද වංසකතාවේ සඳහන් වේ.

පළමුවැනි ලංකා ගමනයේදී බුදුන් වහන්සේ දැනට මහියංගණය නමින් ප්‍රසිද්ධ ව්‍යවහාරයේ පවතින පෙදෙසෙහි මහවැලි නදී තෙර රැස්ව සිටි යුද්ධාභිමුඛ යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කොට ඔවුන් ගිරි දිවයිනෙහි පදිංචි කරවූ බව කියැවේ. එහිදී උන්වහන්සේ ධර්මය දේශනා කළේ දෙවියන්ට මිස යක්‍ෂ ගෝත්‍රිකයන්ට නොවේ. සමන්ගිර වැසි මහා සුමන සෝවාන් ඵලයට පත්වනුයේ මෙහිදීය. ඔහුගේ ඉල්ලීම පරිදි බුදුන් විසින් දෙන ලද කේශ ධාතු තැන්පත් කොට බුදුහිමි වැඩසිටි ස්ථානයේ සත් රියනක් උස සෑයක් කරවීය. පසු කලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සරභූ නම් තෙර නමක් ගී්‍රවා ධාතුව (උගුරු ඇටය) රැගෙනවිත් මෙම සෑයෙහි තැන්පත් කර එය ‍ෙදාළොස් රියන් කර බඳවා ඇත. ඉන් පසුව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ චූලාභය මෙම දෙවැනි චෛත්‍යයද විශාල කොට තිස් රියනක් උසට බැඳ ඇත. ඊටත් පසු කලෙක දුටුගැමුණු කුමරු මෙම පෙදෙසෙහි පිහිටුවා තිබුණු එළාර බලකොටු බිඳ ජයගෙන මෙකී චෛත්‍ය අසූරියන් කොට බඳවා තිබෙන බව මහාවංශය පවසයි. වර්තමානයේ මහියංගණ සෑය නමින් හඳුන්වනුයේ මෙම චෛත්‍යයයි.

මෙරට වංසකතාවලින් යක්‍ෂ ගෝත්‍රිකයන්ට අමතරව දේව ගෝත්‍රිකයන් පිළිබඳව ද ඉඟි ලැබී තිබේ. යක්‍ෂයන් පලවා හළ බුදුන් කෙරෙන් ධර්මය ශ්‍රවණය කළ දේව සමූහයා එකල වඩාත් ශිෂ්ටව විසූ ජන ප්‍රධානීන් ලෙස සිතීමට වංසකතා වාර්තා අප පොලඹවයි. (ඒ පිළිබඳව තවදුරටත් සිතීමට පාඨකයාට ඉඩ ලබා දෙමු.) බුදුරජාණන් වහන්සේ දෙවැනිවරට මෙරටට වඩිනුයේ නාග ගෝත්‍රික ජන කණ්ඩායම් මුල්කරගෙනය. ඒ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදීය. එම වර්ෂයේ බක් මස අමාවක් දින නාගදීපයට වැඩමවා මාණික්‍යමය පුටුවක් උදෙසා චූලෝදර හා මහෝදර යන මාමා හා බෑනා අතර ඇතිවූ මතභේදය දුරු කර සමගි කරවූ බව වංසකතාව පවසයි. මොවුන් දෙදෙනාම නාග ගෝත්‍රිකයන්ය. මහාචාර්ය පරණවිතාන මෙම චූලෝදර හා මහෝදර යන නාම දෙක ඉන්දීය මහාභාරත මහා කාව්‍යයේ එන කුණ්ඩෝදර හා මහෝදර යන දෙදෙනාම ලෙස ගිණිය හැකි බව පවසයි. මෙම සාහිත්‍යය මූලාශ්‍රයවල එන නාග ගෝත්‍රිකයන් බටහිර වෙරළ තීරය ඔස්සේ ඇති තැනිතලා භූමියෙහි කෘෂිකාර්මික කටයුතු කරමින් සිටි තාවකාලික නිවාස සහිත පිරිසක් බවත් යක්‍ෂ ගෝත්‍රිකයන් කඳුකරයේ ගංගා නිම්න ආශ්‍රිතව පිහිටි ගුහා හා විවෘත භූමි භාගවල විසූ පිරිසක් බවත් ආචාර්ය නන්දදේව විජේසේකර පවසයි. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයා වන ආචාර්ය ශිරාන් දැරණියගල පවසනුයේ වංසකතාවේ එන නාග ගෝත්‍රික ජනයා ශ්‍රී ලංකාවේ ප්‍රොටෝ ඓතිහාසික යුගයේ විසූ මිනිසුන් යැයි අනුමාන කළ හැකි බවයි. ප්‍රොටෝ ඓතිහාසික යුගය යනු බුදුන් වැඩමවූ කාලයයි. මෙකල නාගයෝ දෙවර්ගයක් මෙරට විසූහ. පර්වතවාසී හා සමුද්‍රවාසී නාග ගෝත්‍රිකයන් යනු එම දෙපිරිසයි. යටකී මිණි පළඟ අයත්ව සිටියේ පර්වතවාසී චූලෝදර නා රජු වන අතර ඒ සඳහා සටන් වැදීමට ඉදිරිපත්ව සිටියේ සමුද්‍රවාසී මහෝදරය. සැබැවින්ම මෙම සමුද්‍රවාසී හා පර්වතවාසී යන වචන දෙකෙන් පැවැසෙනුයේ මුහුදු පතුලේ හෝ විමානවල ජීවත්වන සැබෑ ස්වරූපයේ නාගයන් නොව පර්වත සහිත කඳුකර ප්‍රදේශවල හා සමුද්‍රාසන්න වෙරළබඩ තීරයේ විසූවන් ලෙස සිතීම සාධාරණය.

"නාග" යන වචනය සහිත සෙල්ලිපි රැසක් ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී ඇති අතර ඔවුන් මැණික් වැනි වටිනා ඛනිජ වර්ගවල හිමිකරුවන් ලෙස එම ශිලාලේඛනවල හඳුන්වා දී තිබීම විශේෂයෙන්ම සැලකිය යුත්තක් බව ආචාර්ය පියතිස්ස සේනානායක පවසයි. මෙම දෙවැනි ලංකාගමනය පිළිබඳව වන ප්‍රවෘත්තිය වැදගත් ඉඟි කීපයක් අපට ලබාදෙයි. ඒ සමකාලීන ලංකා සමාජය හා ඔවුන්ගේ විඥානමය සංවර්ධන පිළිබඳවයි. මෙම නාගයෝ (ගෝත්‍රිකයෝ) බුදුරුව දුටු පමණින්ම තුටු පහටු වෙති. බණද අසති. අසා පැහැදී ගැටුමට හේතුව වූ මිණි පළඟ ද බුදුන්ටම පුදති. දානයක්ද දෙති. එපමණක් නොව මහාවංසය පවසන පරිදි "නාගයෝ" දෙපිරිසම පංචසීලයද සමාදන් වූහ. බුදුන් දුටු විගසින් සතුටට පත්වීමටත්, බණ අසා පැහැදී දන් දීමටත් තරම් මොවුන් ශිෂ්ට වූයේ කවර ආභාසයකින්ද යන්න නොවිමසා බැරිය. මොවුන් වෙළෙ¼දාම සමඟ (දේශීය - විදේශීය) දැඩි සබඳතා තිබුණු පිරිසක් බවත් ඊට පෙර බුදුන් ගැන අසා දැන සිටි පිරිසක් බවත් පැහැදිලිව පෙනෙන කාරණයකි. එසේ නොමැතිව වංසකතාව පවසන පරිදි නාගයන් පංචශීලය සමාදන් වනුයේ කුමන හැදියාවක් මතද? බුදුන් වහන්සේගේ තුන්වැනි ලංකාගමනයට පදනම වැටෙනුයේද මෙම දෙවැනි ගමනේදීමය. යට කී මිණි පළඟ යුද්ධයට මහෝදර නා රජුගේ මලණුවන් වූ මණිඅක්ඛිත නාරජුද පැමිණ සිටියේය. ඔහු කැලණි ප්‍රදේශවාසියෙකි. මෙම පුද්ගලයා නැවත ලංකාවට වඩින ලෙස බුදුන්ට ආරාධනා කොට තිබේ.

උක්ත නාගදීපාගමනය සිදු වූයේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදීය. එම ගමනේ අවුරුදු තුනකට පසුව මණිඅක්ඛිත නාරජු බුදුන් වෙත එළැඹ භික්‍ෂු සංඝයා සහිතවම කල්‍යාණි පුරවරයට වඩින ලෙස ආරාධනා කළේය. ඒ අනුව පසු දිනම එනම් බුද්ධත්වයෙන් අටවැනි වර්ෂය පූරණය වන දින හෙවත් වෙසක් පුර පසළොස්වක පෝය දිනෙන් කැලණියට වඩමවා තිබේ. මෙම කැලණිය නූතන කොළඹ සමීපයේ පිහිටියා වූ භූමිභාගය නොවන බවත් රුහුණේ රාජ්‍යයක් වූ එය ගිනිකොන දිග ලංකාවේ පිහිටා තිබුණු බවත් මහාචාර්ය පරණවිතාන පවසා තිබේ. තවදුරටත් ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙනුයේ ලංකාවේ නැගෙනහිර පළාතේ "මණ්ඩලගල" නම් ස්ථානයේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපියක් හමුවේ



No comments:

Post a Comment

Comments system

Disqus Shortname