Thursday, December 3, 2020

ප්‍රාග් ඓතිහාසික කාන්තාවන් දඩයම් කරාද?

(Artist impression of a prehistoric woman hunting)

ප්‍රාග් ඓතිහාසික සමාජයන්හි දඩයම් කිරීම පුරුෂයින් විසින් සිදුකරන ලද්දක් බව දීර්ඝ ලෙස කාලාන්තරයක් පුරාවට උපකල්පනය කරන ලද්දකි. එනමුත් නූතන පර්යේෂණයන්ට අනුව මීට ඉදුරාම වෙනස් අදහසක් පූර්ව අදහස අභියෝගයට ලක්කරමින් ලෝක පුරාවිද්‍යා පර්යේෂණයන් තුල කරලියට පැමිණ ඇත. මීට මූලික වූ ප්‍රධානතම හේතුව නම් මීට වසර 90000 කට පමණ පෙර ඇමරිකාවේ දඩයම් මෙවලම් සමග වළලනු ලැබූ කාන්තා සිරුරක අවශේෂ සහ මෙවලම් නුතන පර්යේෂණයක් මගින් සොයා ගැනීම සමගය. අන්ඩියන් කදුකරයෙන් සොයාගත් මෙම කාන්තා සිරුර Wilamaya Patjxa individual 6 හෙවත් “WPI6” ලෙස නම්කර ඇත. මෙම ඇටසැකිලේ කකුලේ නම්‍යශීලී ස්තානයෙහි තිබී ගල් ආයුධ පර්යේෂකයන් හට හමුවී ඇති අතර එවා උවමනාවෙන්ම එහි ඉති පරිස්සමින් තැම්පත් කර ඇති බවට පර්යේෂකයන් අදහස් කරයි. මෙම ගල් ආයුධ අතර projectile points – tools ද වන අතර ඒවා හෙල්ලයක ඉදිරිපස කැපුම් ආයුධය ලෙස භාවිතා කර ඇත. මෙහි දී පර්යේෂකයන් තර්ත කරන්නේ මෙම projectile points – tools විශාල ප්‍රමානයේ සතුන් දඩයම් කිරීම සදහා ප්‍රාග් මිනිසා භාවිතා කර ඇති බවකි.
(projectile points – tools) 

 WPI6 ලෙස නම්කර ඇති මෙම කාන්තාව මියයන විට වයස අවුරුදු 17 - 19 අතර කාල පරාසයට අයත් බව පර්යේෂකයන් පෙන්වා දෙන අතර ඇගේ දත්වල ඇති “peptides” විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම මගින් ජීවවිද්‍යාත්මකව ලක්ෂණ විශ්ලේෂනයෙන් ඇය ගැහැණු අයෙකු බව තවදුරටත් වඩා සනාත කොට ඇත. එමෙන්ම මෙම පුසාන භූමියෙන් විශාල ප්‍රමානයේ ක්ෂීරපායී සතුන්ගේ ඇටකටු විශාල වශයෙන් හමුවීම මගින් ඇය එකල ජීවත් වූ සමාජයේ දඩයමට හිමිව තිබූ පුමුඛබව මනාව පෙන්නුම් කරයි.


(Excavations at Wilamaya Patjxa)

Science Advances හි මේ පිළිබද මෙම පර්යේෂකයන් ප්‍රකාශයට පත් කල අතර පර්යේෂකයන් විසින් මෙම කාල පරිච්ඡේදය තුලම වලලනු ලැබූ වෙනත් ඇට සැකිලි පිළිබදව ද සමාලෝචනාත්මක අදහසක් දක්වා ඇත. එහි දී ඔවුන් පෙන්වා දෙන්නේ හමුවී ඇති ස්ත්‍රී පුරුෂබව තීරණය කර ඇති ඇටසැකිලි 27 න් 41% ක්ම කාන්තා බවය. මෙහි දී මෙම පර්යේෂකයන් අදහස් කරන්වේ විශාල වශයෙන් game hunting ඇමරිකාවේ ප්‍රාග් දඩයම් කණ්ඩායම් අතර කාන්තා පුරුෂ විභේදනයකින් තොරව පැවත ඇති බවකි.

මෙම උපන්‍යාසයෙහි තව දුරටත් එල්බෙන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම අදහස 1960 දශකය දක්වා දිවෙන “Man-The-Hunter model” ය ට වඩා වෙනත් අදහසක් බවයි. දඩයම සහ ක්‍රීඩා දඩයම ප්‍රාග් දඩයම් සමාජවල තනිකරම පිරිමින් විසින් සිදුකල බවට පැවති අදහසට වඩා වෙනත් මගක් මෙම නව පර්යේෂණ අදහස මගින් ප්‍රකාශිතය. මෙහි දී මෙම උපකල්පනය සදහා පදනම සකසා ගැනීමේ දී එකිනෙකට වෙනස් දත්ත හා තොරතුරු එකට ගලපා භාවිත කොට ඇති අතර වඩාත් අවදානය යොමුකර ඇති කාරණය නම් වර්තමාන දඩයම්කරුවන්ගේ සමාජය මගින් අතීත දඩයම් කරුවන්ගේ සමාජය සංවිධානය වී ඇත්තේ කෙසේද යන්න තේරුම් ගැනීමට ගැඹුරින් උත්සාහ කිරීමයි. ඒකාකෘති දෘෂ්ටියට අනුව දඩකරු අන්නගවේශී කණ්ඩායම් වල කාන්තා පුරුෂ ශ්‍රමය (කාර්ය) විභේදනාත්මකව දක්වා තිබුනි. එහි දී පුරුෂයන් දඩයම් කිරීමටත් කාන්තාවන් දරුවන් සමග නිවසේ කාලය ගතකිරීම, අසල දියකඩිති හි මසුන් ඇල්ලීම ආදී දෙය කාර්ය වුවත් ඇතැම් අවස්තාවන් හි මෙහි වෙනසක් ද දක්නට ඇත. උදාහරණයක් ලෙස පිලිපීනයේ ඇග්ටා ෆොරගර්වරුන් අතර කාන්තාවන් සහායකයින්ට වඩා ප්‍රාථමික දඩයම්කරුවන් වේ. වර්තමාන ඇතැම් දඩයම් කරුවන් අදට ද atlatls භාවිතා කරනු ලබන අතර වත්මනේ ජනයා අතර තරගකාරී ඉසව් ලෙස atlatls විසිකිරීමට කාන්තා - පිරිමි, වැඩිහිටි - ළමා දෙපාර්ෂවයම සහභාගී වේ. මෙහි දී පුරාවිද්‍යාඥයින් අදහස් කරන්නේ atlatls භාවිතය මගින් දඩයම පහසු කරවන්නක් වන අතර එහි දී atlatls ය කාන්තා, පිරිමි, ළමා ආදී ලෙස පුද්ගලයන්ගේ ශරීර ප්‍රමාණය හා ශක්තිය අනුව ඊට අනුරූපව නිර්මාණයහ කොට භාවිතා කර ඇති බවකි. 

නව පර්යේෂණයන් මගින් පූර්ව පැවති උපකල්පනයන් තව දුරටත් නිශ්ප්‍රභකරන අතර මීට පෙර සිදුකල පුරාවිද්‍යා සොයා ගැනීම් කිහිපයක් ද මේ සදහා පෙන්වා දෙයි. නිදසුනක් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් රුසියාවේ සුන්ගීර් අඩවියෙන් වසර 34,000 කට කාලනීර්ණය වූ පැරණි සුසානයකින් තරුණ ඇටසැකිලි ද්විත්වයක් සොයාගත් අතර ඉන් එක් ඇට සැකිල්ලක් නිත්‍ය වශයෙන්ම කාන්තා ඇට සැකිල්ලක් වන අතර එය වසය අවුරුදු 09 - 11 අතර දැරියකගේ වෙයි. මෙම දෙදෙනාම ශාරීරික වශයෙන් අසාමාන්‍යතා පෙන්නුම් කරන අතර මොවුන් දෙදෙනා දැවැන්ත ඇත් දළ හෙල්ල 16 ක් සමග වලලා තිබිනි. මෙය ඇතැම් විට අභිචාර ක්‍රමයක් ලෙස විය හැකි අතර ඒවා වටිනා දඩයම් මෙවලම් ලෙසද හැදින්විය හැකිය. එමෙන්ම 2017 වසරේ ස්වීඩනයේ ප්‍රසිද්ධ සුසානයකින් විසිවන සියවසේ මුල් කාර්තුවට අයත් වයිකිං රණශූරයෙකුග‍ේ යැයි සැලකෙන ඇට සැකිල්ල මුල් කාලයේ පිරිමි අයෙකු බවට අනුමාන කර තිබුන ද පසුව එය ජීවවිද්‍යාත්මක පර්යේෂණ මගින් කාත්තා ඇට සැකිල්ලක් බවට පසුව තීරණය කරන ලදී. මෙම සොයා ගැනීම තරමක් පුදුම සහගත විවාදයකට තුඩු දුන් අතර, එය වත්මන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අපගේ නූතන අදහස් වඩාත් මෑත ඉතිහාසයේ අර්ථ නිරූපණයන්ට බලපාන්නේ කෙසේද යන්න මනාව පෙන්වා දෙයි. එක් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයකු පැවසූ පරිදි “පිරිමි රැකියා සහ ගැහැණු ළමයින්ගේ රැකියා” අතර වෙනස හඳුනා ගැනීම මගින් පරිණාමීය වාසි ලබා ගත හැකි බවට ඔහු තර්ක කර ඇත. නිදසුනක් වශයෙන්, ගර්භණී හා කිරි දෙන මව්වරුන් මෙන්ම කුඩා දරුවන් රැකගනිමින් තම නිවෙස් අසල රැඳී සිටීම මගින් අනතුරු වලක්වා ගැනීමට ඉඩ සලන බවයි. එනමුත් වත්මන වන විට මෙම ආකෘතිය බෙහෙවින් සරල බව හදුනාගෙන ඇත.


(The Andes Mountains)

දඩයම් කිරීම ප්‍රධාන කොට ජීවත් වූ දඩකරු අන්නගවේශීන් සංචාරක දිවි පෙවතක් ගත කිරීමත් ඔවුන් ස්ත්‍රී පුරුෂ විභේදනයකින් තොරව සමාජක්‍රියා (දඩයම් කිරීම) සදහා දායක වීම ජීවවිද්‍යාත්මක පරිණාමය සදහා මනා රුකුලක් වී ඇත. අතීතය යනු ඇතැමුන් පවසන පරිදි, විදේශ රටක් වන අතර, අප සතුව ඇති සාක්ෂි වලට වඩා, විචල්ය මානව හැසිරීම් මෙතුල පෙනෙන්නට තිබේ.


Monday, July 3, 2017

රාවනා ගුහාවට හෙවත් නිල්දිය පොකුණ වෙත..


බ්බොග් එකක් ලියුවාදැයි කියා අමතක වන දිගු නිහැඩියාවකට පසු යමක් ලියන්නට අවැසියැයි සිතුනේ  මෑත දී ගිය තවත් එක් තැනක් වන නිල් දිය පොකුණ පිලිබද සුපුරුදු පරිදි මුහුනු පොතේ මිතුරන් නිරන්තරයෙන් විමසන නිසාය. එබැවින් මෙතැන් පටත් නැවතත් මගේ කෙටි සටහන් මෙසේ දිගහරිමි.

කුරුල්ලන්ගලින් පසු නිල් දිය පොකුණට යෑමට නොතිත් ආශාවෙන් සිටි අපි විවිධ හේතුමත බොහෝ ගමන කල් දැමීම් වලින් පසු සුපුරුදු පරිදි Trekker Sri Lanka හා මෙත්තාගේ උදවුද සමග නිල් දිය පොකුණ බලා යෑම ආරම්භ කෙරුණි. ඉරු දින පාන්දර 2.30 ට කොටුවෙන් පිටත් වන ගමනට හවස 8 වන විට මමත්, කැපත්, ජගත් සහ ජනකයත් ෆ්ලෝටින් මාකට් එකට එකතු වූයේ ගමනට තිබූ උනන්දුවත් කලින් මතකයන් ආවර්ජනය කරමින් බොස කපන අතර තුර ජනකයාගේ සුපුරුදු කිරි බීම සංග්‍රහය බුක්තිවිදිමින් කාඩ් අතක් සෙල්ලම් කිරීමටය. කොහොමින් හෝ පාන්දර 2. 30 වන විට කොටුව ස්ටේෂම අසලට එකතු වූ මිතුරන් ද සමග ගමන ආරම්භ විය. ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ග්‍රාමයේ පිහිටා ඇති නිල්දිය පොකුණ වෙත යාමට මෙත්තා සුපුරුදු සිනාවත් සමග කරදගොල්ලෙන් එකතු වූ අතර ‘‘ අදත් අදුනෙන් බැලුවා දැයි‘‘  මා විමසූයේ කලින් ඔහු කියූ කතාවල ඉතිරි කොටස් ඇදගැනීමට අවැසි බැවිනි. අත් ඇර තිබූ තේ වත්තක් හා ලදු කැලෑවක් පීරමින් නිල් දිය පොකුණට ඇතුල්වන පොලෝ කුහරය වෙත පිවිසි අපි ගසක ගැට ගැසූ කඹයෙන් ගුහාව පතුලට ගමන් ආරම්භ කෙරුණි.




ත්‍රාසය හා භීතිය වෙලාගත් කෑලි කැපිය හැකි ඝණ අදුරත් අපායේ දොරටුව වන් නිරන්තර අනතුරකට අතවනන ලිහිල් පස හා අතින් ගුලි කෙරිය හැකි තරම් දිරා ගිය හුණුගල මත බැදි දිය සීරාවත් යන සියල්ල අමතක කොට කිලෝමීටරයක් දෙකක් ආසන්න දුරක් පොලව යටට කිමිද රාවණා පුරා වෘත්තයන්ට හා ජන විශ්වාසයන්ට අනුව නිල්දිය පොකුණ හෙවත් රාවණා කදු ගැබට රින්ගුවේ පුරාවිද්‍යාවට මාතුල ඇති කොන්දේසි විරහිත අසීමාන්ති ආදරයත් මගේ රටේ ඇති බොහෝ තැන් මැරෙන්නට කලින් බලාපන් ලෙස මගේ සිත ඇවිටිලි කරන නිසාත්ය.  එකිනෙකාගේ උදවු කරගැනීම් සමග කෙමින් ගුහාව තුලට රින්ගූ අපි විශාල ශාල වන්ගුහාවේ විශාල තැන් දෙක තුනක් පසු කෙරීය. එමෙන්ම එකිනෙකා පසුපස බඩ ගෑම්, පස්සෙන් රීටීම් වලින් අඩුවක් නොවන මාර්ගයන්ගෙන් සැදුනු ගමන්මගෙහි කනාමැදිරි එලිවන් විදුලිපන්දම් වල ආදාරයෙන් එදිරියට ගමන් කෙරුණි. ගුහාව ඇතුලත විවිධ රටා මතුකරමින් පාෂාණ රටා බොහෝ දැක ගත හැකි අතර පැය කිහිපටකට පසු නිල් කැටේට දිදුලන පොකුණ වෙත පැමිනියේය. අයිස් කැටයක් වන් සීතලෙන් යුතු පොකුණ දෙබෑකරමින් බොහෝදුර පීනන්නට සිතුනද මග දුරක් පීනා ආපසු පැමිනියේ දැරිය නොහැකි සීතලට වඩා කලුවර වැඩි නිසාය.  මෙහි රාවණා රජු හා සීතා කුමාරිය පිලිබද විවිධ  කතා ගෙතී ඇතිර එහි සත්‍ය අස්‍ය බව නොසනී. එනමුත් එහි එක් කතාවක් එලියට පැමිණ කහට කෝප්පයක් බොන ගමන් ගමේ අය සමග කතා කරන විට ඔවුන්ගේම වචනයෙන් මෙසේය.





(නිල් කැටේට දිලෙන අයිස් වතුර)
...................................................................................................................................................................
‘‘ ඔය ළමයි ඇතුලටම ගියාද?.......
ඔවු. සීයා ගිහින් තියනවද ?
ඔවු මං ගිහින් තියේ..
ඔතනට නිල් දිය පොකුණ නෙවේ ළමයො කලින් කියලා තියෙන්නේ. ඕක මේ ලගදි මිනිසු දාපු නමක්. මේ කන්දට කියන්නෙ රාවණා කන්ද කියලා. ඔතන යට රාවණා රජතුමා සේනාවක් එකක් තාම ගල් වෙලා ඉන්නවලු. ඔතන හරියට උමන් තියනවා. මේ උමන් වල හරියට උගුල් තියනවලු. ඔය පොකුණට වතුර එනතැනක් පිටවෙන තැනක් හොයා ගන්න නෑනේ..
...................................................................................................................................................................

ඇතුලට වතුර එන තැනක් හෝ යන තැනක් නැතැයි කියනා මෙම පොකුණේ මැදින් ජල සාම්පලයක් කල් තියා මා ලබා ගත්තේ එය පැරාමීටර් 18 ක් පමණ පරීක්ෂාකර දීමට හැකියැයි කියූ ජනකයාගේ වචනය විශ්වාස කරමිනි.  ඉදිරියේ දී එසේ විද්‍යාත්මක පදනමකින් පරීක්ෂාර අනාවරණය කරගන්නා මෙම තොරතුරු රටට ලබාදීමේ බලාපොරොත්තුව සහිතව ඇති තරම් පොකුණ අසල ගිමන් හැරි අපි නැවතත් පොලෝ කුහරයෙන් මතු පිටට පැමිනියේ රටක් අල්ලාගත් සෙම්පතියන්  රැලක් මාළිගයේ ප්‍රධාන ද්වාරයෙන් ඇතුල් වෙන පරිදි මහත් එඩියෙනි...




(මෙදා පාර එකතුවුන අපේ නඩය)

සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,

                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ


Friday, September 30, 2016

පාරම්පරික දැණුම ..( අම්පිටියේ දෙවියෝ සහ අංකෙළිය)

පානම් පත්තුවේ පානම ගම්මානයේ පිහිටි අම්පිටියේ දේවාලය එහි ගැමියන්ගේ නිරතුරු ඇදහීමට භාජනය වන දෙවොලකි. මෙහි උඩු පිල හා යටි පිල යනුවෙන් දේවාල දෙකකි. මෙහි අළුත් දෙවියෝ හා පත්තිනි දෙවියෝ පිළිවෙලින් වැඩ වෙසෙයි. මෙම දෙවි වරුන් දෙපල අම්පිටියේ දෙවියෝ වෙති. ගැමියෝ දෙපිලකට බෙදී වසරක් පාසා අලුත් හා පත්තිනි දෙවියන් උදෙසා අංකෙළි උත්සවය පවතවති. යල් කන්නයේ අස්වනු නෙළා ගැනීමෙන් පසු ඇරබෙන මෙම අංකෙළි උත්සවය සැණකෙළියක  සිරි උසුලයි.

ගැමියන් අංකෙළිය පවත්වන්නේ ආත්‍රී කාලයේ අම්පිටියේ දී ය. මේ සදහා සහභාගි වන්නේ පිරිමින් පමණි. තරැණයන් සදහා වෙන්ව පවතින පළමු දින හත ''කොළු අංකෙළිය'' යනුවෙන් ද ඊට එළඹෙන දින පහ වැඩිහිටි පිරිමින් සදහා වෙන්ව පවතින අතර එය ''මහා අංකෙළිය'' යනුවෙන් ද හැදින්වේ. දහතුන්වන දිනය ''දේවාලයට යන දා ''ලෙසද දාහතර වන දිනය ''දෙයියෝ ගමේ ගේන දා''  සහ   පහලොස් වන දිනය  ''දියකපන දා'' යනුවෙන් ද අංකෙළ උත්සවය පැවැත්වෙන දින පහළොව හැදින් වේ. කොලු අංකෙළිය හා මහ අංකෙළිය පවතින දිනවල ගැහැණුන් කිසිවෙකු අම්පිටියේ හතර මායිම තුළින් ඇතුළු නො විය යුතු ය. එම කාලය තුළ ගැහැණුන් අම්පිටියට පැමිණිය හොත් දෙවියෝ උදහස් වෙති.



අංකෙළියට සහභාගි වන පිරිමින් පිළිපැදිය යුතු ලිළිවෙත් රැසකි. ඔවන් අංකෙළියේ යෙදෙන කාලය තුළ අනිවාර්යෙන් ළිළිපැදිය යුතු ය. එසේ නොකොළහොත් අම්පිටියේ දෙවියෝ උදහස් වෙති. දෙවියන් අදහස් වූ කල ගැමියන්ට ලෙඩ රෝග සහ නොයෙකුත් උපද්‍රව වලට මුහුණපෑමට සිදු වේ. එම වත් පිළිවෙත් මෙසේය.

*හිස තෙල් නොගෑම.
*කහ, බටු අඹ ආදිය නොකෑම.
*මැටි භාජන පරිහරණයේ දී නැවුම් මැටි භාජන පරිහරණය කිරීම.
*බිරිද අතින් සෟවාමි පුරුෂයාට බත් බෙදා නොදීම.
*සහවාසයේ නො යෙදීම.
*මස්, මාළු, කරවල, බිත්තර, ආදී මාංශ වර්ග ආහාරයට නො ගැනීම.


එමෙන්ම අංකෙළිය පැවැත්වෙන කැලයේ දී ගැමියන් පිළිපැදිය යුතු වත් පිළිවෙත් ද වේ.

*හාල් පිටි කෙටීම නොකළ යුතු ය.
*මරණයක් සිදු වූ විගස දේහට ගම්මානයෙන් පිට කිරීම හෝ භූමිදානය කිරීම.
*දැරියක් වැඩිවියට පැමිණියේ  (කොටහළු වූයේ) නම් ඇය ගමෙන් පිටත ස්ථානයක රැදවීම.
* මාසික ඔසප්වීම සිදු වූ ගැහැණුන් ගමෙන් පිටමං කර තැබිම
*දරු උපතක් සිදු වූයේ නම් මවත් දරුවාත් ගමෙන් පිටමං කර තැබීම.
*විවාහ කටයුතු නොකිරීම.
*මස්, මාළු ආදී මංශ ගම තුළට නොගැණිම.

අංකෙළියේ දී උඩු පිළ ජය ගතහොත් එම වසරේ ගැමිනේගේ වගා කටයුතු සාර්ථක වී වැඩි අස්වනු ලැබෙන අතර බහුලව ලෙඩරෝග ගැමියන් අතර පැතිර යයි.  එහෙත් අංකෙළියේ දී යටි පිළ ජයගත හොත් ගැමිනයන් අතර ලෙඩ රෝග පැතිරයාම නොවන අතර වගාපාළු වී අස්වනු අඩු වී ගැමියන් ආර්ථික අහේනියකට මුහුණ පාති. මෙය පානම් පත්තු ගැමියන් දැඩිසේ විශ්වාස කරන්නකි. 

'' දේවාලයට යන දා'' ගැහැණු පිරිම කිසිම බේදයකින් තොරව සියල්ලෝම එදින අංපිටියේ දේවාලයට යති. අම්පිටියේ දෙවියන් උදෙසා භාර හාර එදින ඔප්පු කරයි. දේවාලයට යන දා කවුරුත් පාහේ අළුත් ඇදුම් වලින් සැරසෙති. පසුදින '' දෙයියෝ ගමේ ගේන දා'' වන අතර එදින රෑ ගම්මානයේ නිවෙස් කරා පත්තිනි දෙවියෝ වැඩම කරති. එදින වන විට ගැමියන් තම නිවෙස් අළුත්වැඩියා කර ගෙවතු හා මං මාවත් පිරිසිදු කර තබා ගනී. නිවෙස ඉදිරිපිට මිදුලේ දෙවියන් වෙනුවෙන් මැස්සක් තනයි. මෙහි උඩු වියන් බැද පූජා වට්ටියක් හා පොල් ගෙඩියක් තබති.  මැස්ස අඹ කොළ, කොහොඹ කොළ, ගොක් කොළ හා මැයි මල් වලින් සරසයි. පත්තිනි දෙවියන් පෙරහරේ වඩම්මන අතර කඩුල්ලේ සිට පැස්ස දක්වා පෙරහැර ගමන් කරන විට ගමන් මග වතුර කළයක් වක්කර තෙත් කරයි. පත්තිනි දෙවියන් ලී මැස්සේ තබා කපුවා යාතිකා ගයමින් නිවැසියන්ට සෙත් පතයි. මෙලෙස ගම්මානයේ සියළුම නිවෙස් කරා දෙවියන් වැඩමකර ගැමියන් හට සෙත් පැතීම කරනු ලබයි. පසු සින එළඹෙන සුභ මොහොතින් පානම මුහුදු තීරයේ දී දියකපා අංකෙළි උත්සය අවසන් කෙරෙති. 

මෙරට වත්මනේ දී ද පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රානුකූලව වසරක්අං පාසා කෙළිය දැක ගැනීමට ඇති එකම ස්ථානය පානම් පත්තුවයි. මෙය අතීත මුතුන් මිත්තන් පරිහරණය කළ විශ්වාස කළ අපේ පාරම්පරික විශ්වසයන් හා දැණුම පද්ධතියයි.  

                                         අළුත්  දෙවියන්ට කොරන දේව කන්නලව්ව මෙසේය.

                   නමෝ තෙදවරං දිවස් පස්වාන් දහසකට දිවස් කරුණා කරන්න යහපති 
                              ආයි බෝ වේවා.. ආයි බෝ වේවා... ආයි බෝ වේවා ......
ඕ...ම්... සිට වැන්දෙත් බැහැ වැන්දේත්
දනිස් නමා දසගිල්ලෙන් වැන්දේත්
දොහොත් නමා දසගිල්ලෙන් වැන්දේත්
මෙසක්වලෙන් එසක්වලට එසක්වලෙන් මෙසක්වලට
මෙර හතර මූදේ
මේ.. ශ‍්‍රීලඞකා දීපයට නිධානයක් වූ පැවැත්වාවූ
අලූත් බණ්ඩාර කෝවිලේ බණ්ඩාර
සමකුලූනු බැහැ උන්නාවූ අලූත් බණ්ඩාර
කතරගම මහ මූලස්ථානෙට වැඩ උලූවිත් කෝවිල තනා
පට පඩුරු අය කරගත් අලූත් බණ්ඩාර දෙවි හාමුදුරුවන් වහන්සේට කියා සිටින කන්නලව්වයි
මේ අසුරමණ්ඩියේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා
යක්‍ෂ භය භූත භය පේ‍්‍රත භය ගසා නඩත්තු කරවා දී
ඉසේ තියාවුන් මල්ලක් බිමට බෑවා සේ
කාදුන්නක දුනු දියක් බෑවා සේ
අහසේ වලාවක් ගසා ගියා සේ
පොළොවේ දූවිලි කඩක් ගසා ගියා සේ
කිරි ගහට ඇතෙක් දළ දුන්නා සේ
මුහුද පීනා ගොඩ දුරට ආ සේ
හාල් ගරා ගල් දුටුවා සේ
සිද්ධ ස්වාමිනී
කනාගේ හැරමිටිය හැංගුවාසේ කරන්න එපා
පීරා කන කුකුළාගේ දෙපා බින්දා සේ කරන්න එපා
හිගන්නාගේ පාත්තරේ බින්දා සේ කරන්න එපා
සිද්ධ ස්වාමිනී
අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අන්ත‍්‍රා ගසා ගියා සේ
හත්දා බලි ඇරියා සේ
මේ සියලූ රෝග මේ සියලූ උපද‍්‍රව දුරු කර දෙන්න
අලූත් බණ්ඩාර දෙයි හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්......



මෙහි මා ගෙන එන්නේ මානව වංශ අධ්‍යයන තුළින් මා දැක ඇති අසා ඇති තොරතුරු සහ පොත් පරිශිලනයෙන් මා පසක්කර ගත් දැණුමැයි..
ආශිත.ග්‍ර - ගුණමෝම ගුණසේකර, පානම් පත්තුවේ ජනඇදහිලි හා විශ්වාස,2001,ගොඩගේ ප්‍රකාශකයෝ.




සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ
------ ---------------------------------

Monday, February 8, 2016

පාහියන් ගල..





සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ
------ ---------------------------------

Friday, December 11, 2015

වැහි දෙයියොයි.. බලි රූපයි. වැහි බලි යාගයයි....

හපොයි. හොදටම වැස්ස...........  කස්ටියටම වැස්ස දැන්නම් ඇතිවෙලා වගේ. ඒත් මේ වැස්ස පුරාණ ගැමියාට නම් ආශිර්වාදයක්ලු.

 අහසින් වටෙනා එක ජල බිදකුදු මහ මුහුදට නොම යවන ලෙසින් ,
මහ වැව් තැනුවේ හෙළ රජ දරුවන් ......
බත බුලතින් සරු කරන හෙටින්...

කොහොම නමුත් වැස්ස හැම කාලෙටම ලැබෙන් නෑ. සිංහල ජනශ්‍රතියෙත් වැස්ස හා සම්බන්ධ රසවත් ජන කතා අභිචාර විදි බොහොමයි. මේ කියන්නෙත් මං පොඩි එකා කාලෙ අහපු එහෙවු කතාවක්.

දැන්නම් හොදටම වැස්ස උනත් වැසි නැති කාලෙට ලාංකික ගැමියගෙ ජීවන රටාව එහෙම් පිටින්ම වෙනස් වෙනවා. ගොවි තැන් බතක් කරගන්න බෑ. ඉතින් ඔබේ මගේ ආතලා,  මුත්තලා ඒ කියන්නෙ අපේ මුතුන් මිත්තෝ වැසිලබා ගන්න බලි රූප භාවිතා කරලා තියනවා. මේ ක්‍රියාවෙ එකක් තමයි වැහි බලිය නටන එක.



පොළොව ඉරි තැලිලා ගිය වැසි නැති කාලෙ වැස්ස ලබාගන්න නොයෙක් ක්‍රම භාවිතා කරලා තියනවා. පෙරහර ඇතිවීමත් මේ ක්‍රියාවෙ එක් අවස්ථාවක්. කොහොම හරි නියං සමයෙදි ගමේ වැඩි මහළු පිරිමි එකතු වෙලා හුඹස් මැට්ටෙන් බලි රූප දෙකක් හදලා තියනවා. වැව් පිට්ටනියෙ මැටිත් මේකට භාවිතා කරලා තියනවා. මේව නිරුවත් දේව පිළිම. කාන්තා හා පිිරිමි විදිහට. . කොහොමින් හරි ගමේ පිරිමි පමනක් සම්බන්දවෙලා කරන මේ වැඩේ දී මෙම පිළිම දෙක හවස් යාමෙදි වැවු පිට්ටනියට ගෙනිහින් තියනවා. සමහර පෙදෙස් වල දේවාලයේ දේව පිළිමය භාවිතා කරලත් තියනවා. ඒ පිළිමය බිම වැල් පොටකින් ගැට ගහන් බිම ඇදන් ගිහිනුත් තියනවාලු. කොහොම හරි මේ වැඩේට සම්බන්දවන සියළුම පිරිමි නිරුවත්වයි මේකට සම් බන්ධ වෙන්නෙ. මෙහෙම ගෙනිහින් පිරිමි  හවස් වරුවෙ වැව් පිට්ටනියෙදී ම  කාලා බීලා නටලා සතුටු වෙලා  වැවු පිට්ටනියෙ අර නිරුවත්ව හදපු බලි රූප දෙක තනි කරලා රෑ වෙද්දි තමන්ගෙ ගෙවල් වලට එනවා.

ඉතින් මේ තමන්ගෙයි,දේවියගෙයි රූප දෙක දකින දෙවියො මේ රූප දෙක තවත් අය පහුවදා උදේට දකියි කියලා මහා වරුසාවක් රාත්‍රිෙය්ම ඇද හැලෙනවාලු. බලි රූප දෙක විනාශ වෙන්න. ඉතින් වැහි වතුරට පිළිම දෙක දියවෙලා ගිහින් ඒ එක්කම වැවත් පිරෙනවාලු. මේ හේතුවෙන් ඇළ දොළ පිරුණු පසු ගැමියන්  නියගයට තිත තියලා නැවතත් තම ගොවිතැන් බත් තරන්ට පටන් ගන්නවා.මේක රජරට වැව් ගම්නමාන වාසීන් කරලා තියන දෙයක්. මින්නේරිය පොළොන්නරුව වැනි පැතිවල දුරාතීතයේදී මේ යාතුක්‍රම සිද්දවෙලා තියනවා. හැබයි මේ එකම වැහි බලිය එක එක පැතිවල වෙලා තියෙන්නෙ එක එක විදිහට. වැහි බලියට කලින් කරපු බලිත් තිබිලා තිනවා.  


සුද්ද ලෙසට අඩුක්කුගති මේ ගමේ මහ දෙයියෝ
නින්ද ගමේ වන් විපතට පිටු පෑවද දෙයියෝ
බද්ද රාළ අමුඩ කොටේ ගලවාගෙන අයියෝ
සද්ද නොකර වහං උනයි වැහි ගම්පල දෙයියෝ

මලේ බඹරු ලෙස පිරිවර ලැබුනයි පෙර කාලේ
ජලේ ගසා පීනායති නාඹරයන් එකලේ
බලේ කොයිද වළං තැලිව හිදලා ගං පතුලේ 
කුලේ බලය නහ ගත්තයි වැහි ගම්පල රාලේ

වැහැපන් දෙයියා කහපං දෙඤ්ඤං
දොරකඩ පොල්ගහකින්දෙම දෙඤ්ඤං
හාඩං මීගෙන් බානක් දෙඤ්ඤං
තනිකඩ අක්කා දීගෙට දෙඤ්ඤං

කොහොමින් හරි බලියෙන් අසතුටු දෙවියන් සතුටු කරලා දෙව කෝපයෙන් වැස්ස ලබා ගෙන තියනවා අපේ මුතුන් මිත්තන්.............


සටහන ;                 ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ

------ ---------------------------------